Saturday, September 21, 2019

ජිජීට අවුරුදු 20යි.


ලංකාවේ අපිට භූමිකම්පා ඒ තරම්ම බලපෑමක් කර නැති උනත් ලෝකයේ සමහර රටවල් තියෙනවා, #භූමිකම්පා නම කිව්වත් මිනිස්සු බය වෙන. තායිවානය කියන්නෙ එහෙම රටක්. සාමාන්‍යයෙන් වසර පහ හයකට වරක්වත් විශාල භූමිකම්පාවක් හටගන්නවාමයි.

ඒ වගේම තමයි 1999 අවුරුද්ද කියන්නෙ භූමිකම්පාවලටම වෙන් කරපු අවුරුද්දක්. මොකද මං එහෙම කියන්නෙ, ඇමෙරිකා එක්සත් ජනපදයේ  භූ විද්‍යා පිළිබඳ පර්‍යේෂණාගාරය කල එක් සමීක්ෂණයකට අනුව ඔවුන් ප්‍රකාශ කරනවා සාමාන්‍යයෙන් වර්ෂයකට හටගන්නා භූමිකම්පා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් 1999 වසරේදී වාර්තා වී ඇති බව.

 

 

ඒ අනුව 1999 වසරේ හටගත් භූමිකම්පාවලින් විශාලම එක හටගත්තේ තායිවානයේ. ඒ භූමිකම්පාව නම් කරල තියෙන්නේ #Jiji (ජිජී) යනුවෙන්. එම භූමිකම්පාව තායිවානය නැත්තටම නැති කරල අදට වසර විස්සකුත් සම්පූර්ණ උනා.

එවකට තායිවානයේ ජනාධිපති වූ ලී තෙන්-හුයි ප්‍රකාශ කර තිබුණේ 20වෙනි ශතවර්ෂය තුළ තායිවානයේ වූ විශාලම විපත "ජිජී" බවයි.


1999 සැප්තැම්බර් 21 දින රාත්‍රී 2 ට විනාඩි 13 ක් ඉතිරිව තිබියදී තායිවානයේ ජනතාවට මාරාන්තික අත්දැකීමකට මුහුණ පෑමට සිදු විය. තත්පර 30ක් වගේ ඉතා කෙටි කාලයක් තුළ ජීවතුන් අතර සිටියදීම මාරයා දැකගත හැකි වේවියැයි ඔවුන් කිසිවිටෙකත් නොසිතන්නට ඇත.

ජිජීගේ බලපෑම වැඩියෙන්ම බලපෑවේ භූමිය මතුපිටට වඩා භූ අභ්‍යන්තරයටය. විද්‍යාඥවරුන් පවසන පරිදි එහි බලපෑම පොළෝ මට්ටමේ සිට කිලෝමීටරයක්වත් යටට ප්‍රසාරණය වෙන්නට ඇති බවයි. එහෙමයි කියා පොළොවෙන් මතුපිට වූ හානිය සුළුපටු කොට සිතිය නොහැක.



තත්පර 30 ක් වූවත් එය රික්ටර් මාපකයේ 7.6 ක අගයක් ලෙසයි වාර්තා වී තිබුණේ. මේ නිසා වූ හානිය ඔබට ගණන් හදාගත නොහැකි වේවි. රටට වූ ආර්ථික හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන 15 කට වඩා වැඩිය. අහිමි වූ මිනිස් ජීවිත ගණන 2400කට වැඩිය. තුවාල ලැබූවන් 11,000 කට වැඩිය.

රජයේ ගොඩනැඟිලි, තට්ටු නිවාස හා කුඩා ගෙවල් ඇතුළුව 12,000කට නිවාස අහිමි විය. රටේ විදුලිය, ජලය හා සංනිවේදන ඇතුළු ක්ෂේත්‍ර රැසක්ම අඩපණ කරන්න්ට ජිජීට හැකිවිය. විදුලිය නොමැතිව අතිශය කළුවර රාත්‍රියක් ගත කළ ඇතැමෙකුට බේරීමට හැකිව තිබියදීත් අවාසනාවන්ත ලෙස මරණය වැලඳගන්නට සිදුවිය. අහෝ කරුමයක මහත..



උදෑසන ක්‍රියාත්මක වූ ජීවිත ගලවාගැනීමේ කණ්ඩායම්වලට සොයාගත හැකි වූයේ ගොඩනැඟිලි සුන්බුන්වලට යටව ගිය අජීවී මිනිසුන් හෝ ඔවුන්ගේ ශරීර කොටස් පමණි. ඉන් බොහෝමයක් පවුල් පිටින්ම මියගොස් තිබිණ. එවිටත් පන ගැහුන සමහරුන්ව වහාම රෝහල්වලට ගෙනගිය අතර ඔවුන්ගෙන් බොහෝ අය සදාකාලිකව අනාථයන් බවට පත්විය. එනම් ඔවුන්ගේ පවුල්වල කිසිවෙක්ම ජීවතුන් අතර නොසිටියහ.


නිකමට හිතන්න, වසර විස්සකට පෙර තමන්ගේ පවුල්වල  සමීපතමයන් අහිමි කරගත්තු මිනිසුන් අද මොනතරම් දුක් වෙනවා ඇත්ද?

|චතුර රුවන් වීරක්කොඩි
(2019.09.21)

No comments:

Post a Comment