✅ ඇල්ප්ස් කඳු පන්තිය
ඇල්ප්ස් කඳු ගැන අහල නැති කෙනෙක් නැති තරම්. මොකද යුරෝපයේ උසම කඳුවැටිය ඇල්ප්ස් කියල ඕනි පොඩි එකෙක් දන්නවා. මේ කඳුවැටිය සම්බන්ධයෙන් ඔබ නොදන්න දේවල් ටිකකුත් තියෙනවා. ඒ තමයි..
සමහර රටවල්වල දේශසීමා යෙදිලා තියෙන්නෙ කම්බි වැටවල්, තාප්ප හෝ ප්‍රාකාර ආදී කෘතිම බාධකවලින්. සමහර රටවල් තියෙනවා ඒවායේ දේශසීමා යෙදිලා තියෙන්නෙ ස්වභාවික දේ වලින්මයි. උදාහරණයක් විදිහට එක්සත් ජනපදය හා මෙක්සිකෝව වෙන් කරන්නෙ කොලරාඩෝ ගංඟාවෙන්. හංගේරියාවයි ස්ලෝවැකියාවයි වෙන් කරන්නෙ ඩැනියුබ් ගංඟාවෙන්.
ඒ වගේම තමයි කඳු පංතිත් තියෙනව ඔය විදිහට රටවල් බෙදා වෙන්කරපු. උදාහරණ විදිහට පිරෙනීස් කඳුවැටියෙන් ප්රංශයයි ස්පාඤ්ඤයයි වෙන් කරනවා වගේ.. ඒත් ඇල්ප්ස් කඳු වැටියෙ තියෙන විශේෂත්වය තමයි එම කඳු වැටියෙන් රටවල් අටක් වෙන් වී තිබීම. ඒ රටවලට අපි කියන නම තමයි ඇල්පයින් රටවල්..
⭕ ප්‍රංශය
⭕ ජර්මනිය
⭕ ඉතාලිය
⭕ ඕස්ට්‍රියාව
⭕ ස්විට්සර්ලන්තය
⭕ ස්ලෝවේනියාව
⭕ මොනාකෝ
⭕ ලිෂ්ටන්ස්ටයින්
කිලෝමීටර 1200කට වැඩි දුරක් ඔස්සේ දිව යන මේ කඳු පංතිය යුරෝපයේ විශාලම කඳු වැටිය වේ. එමෙන්ම යුරෝපයේ උසම කඳු මුදුන්වලින් 11ක්ම අයත් වන්නේ මෙම කඳු පංතියටය.
✅ ඉතිහාසගත කඳු තරණයක්
ඇල්ප්ස් කඳු වැටිය රටවල් අටක් මැද්දෙන් යන විත්තිය මං කලින් කිව්වනේ. ඉතින් ඔහොම රට රටවල් අතරින් යනවිට මුණගැහෙන විවිධ කඳුවලට ඒ ඒ රටවල භාෂාවලින් නම් දාගෙන තියෙනවා. ඉතාලියයි ඕස්ට්‍රියාවයි දෙකට බෙදන සීමාවේ තිබෙන කන්දක් තමයි ඔට්සල් ඇල්ප්ස් කියන්නේ.
ඔට්සල් කන්දෙ මීටර 3210 ක උසකින් පිහිටා තිබෙන ෆයිනීල්ස්ෆිට්සේ කඳු ශිඛරය තරණය කිරීම කිසිසේත්ම පහසු දෙයක් නෙවෙයි. 1991 සැප්තැම්බර් 19 වෙනිදා එනම් හරියටම අදින් වසර 28කට පෙරාතුව ජර්මානු යුවලක් වූ හෙල්මුට් සයිමන් හා එරිකා සයිමන් විසින් ශිඛරය කරමින් සිටියදී අදහාගත නොහැකි දෙයක් දකින්නට ලැබුනා.
✅ යුරෝපයේ ආදිතම මිනිසා
උස් හිම කඳු මුදුන් තරණය කරන අයට එය හුදෙක් විනෝදාංශයක්ම පමණක් නොව අභියෝගයක්ද වේ. ජීවිත ආශාව අත්හැර සහභාගී විය යුතු ක්‍රිඩාවක් සේ සළකන අතර මෙහි නියැලෙන ඇතැමෙකුට බොහෝ ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවේ.
එවරස්ට් තරණය කරන ඇතැමෙකුට කඳු මුදුන් හි සිට පෙරළී එන මලකඳන් දක්නට ලැබෙන බව ඔබ අසා ඇත. වරෙක සිය ගණනක මලමිනී අයිස් සමඟ පහතට වැටුණු පුවතක් මෑතකදී වාර්තා විය. ෆයිනීල්ස්ෆිට්සේ මුදුනේදීද සයිමන් යුවළට එලෙසින් අයිස්වලින් යටව තිබූ මලමිනියක් දැකගන්නට ලැබුණේය.
ඔවුන් සිතුවේ ඒ මලමිනිය කඳු නඟිමින් සිටි සංචාරකයෙකුගේ විය යුතු බවයි. නමුත් ළං වී බැලූ කල එම මිනිසා සම්පූර්ණයෙන්ම විජලනය වී තිබුණේය. එනම් ශරීරයේ කිසිඳු තරලයක් ඔහූ තුළ නොවීය. කෙටියෙන් කිවහොත් මමීකරණය වූ මෘතදේහයක් විය.
✅ වසර 5300ක් පැරණි මිනිසෙක්
නමින් Otzi (ඔට්සි) වන මොහූව ලෝ පුරා ප්‍රසිද්ධ වූයේ Iceman of the Alps (ඇල්ප්ස් කඳුකරයේ හිම මිනිසා) යන නමිනි. මොහූට 'ඔට්සි' යන්න පටබැඳුනේ ඔට්සල් කන්දෙන් සොයාගත් බැවිනි. මේ ගැන පර්යේෂණ කළ 41 දෙනෙකුගෙන් යුත් විද්‍යාඥවරුන් කණ්ඩායමක් මේ අරුම පුදුම මිනිසා පිළිබඳව වැදගත් රහස් රැසක් ලෝකයට හෙළි කළේය.
වසර 5300 කට වඩා පැරණි ඔට්සි මිය යනවිට වයස අවුරුදු 45 ක් වන බවට තහවරු කර තිබේ. එමනිසා ඔහූගේ ශරීරයේ තරල කිසිවක් ඉතිරි වන්නට ඉඩක් නැත. අයිස්වලටම ඒවා උරාගෙන තිබීම නිසා මිහිදන් නොකරම මමියක් බවට පත්ව තිබිණ. එමෙන්ම පර්යේෂණවලදී ඔහූගේ බර රාත්තල් 110ක් එනම් කිලෝග්‍රෑම් 50 ක් පමණ වන බවත් උස 5'3 ක් එනම් 158cm ක් වන බවත් නිගමනය කර තිබේ.
✅ විකෘති ශරීරයක්
වර්තමාන මිනිසා සැසදීමේදී ඔට්සි නම් හිම මිනිසාගේ සිරුරෙහි සුළු සුළු වෙනස්කම් දක්නට ලැබිණ. අස්ථි සැකිල්ලෙහි පිහිටා තිබිය යුතු දොළොස්වෙනි ඉළඇට යුග්මය ඔට්සිගේ පිහිටා තිබුනේ නැත.
එසේම සාමාන්‍ය වැඩුණු මිනිසෙකුට පිහිටන ඥාන දත් ඔහූගේ දත් ඇන්දේ පිහිටා නොතිබූ අතර දත් අතර අසාමාන්‍ය ලෙස පිහිටන ඉඩස/පරතරය (මෙය වෛද්‍ය විද්‍යාවේ Diastema ලෙස හඳුන්වයි) මෙම තත්වයද ඔට්සිගේ හොඳින්ම දැකගත හැකිවිය.
මීට අමතරව පා ඇඟිලි අතර පවතින ඉඩැස ද තරමක් වෙනස් වූ අතර ඇඟිලි අගින් එළියට ආ මස් දළුද දක්නට ලැබිණ. ඔහූ සතුව පුරුෂ ලිංගයක් හෝ වෘෂණ කෝෂ පිහිටා නොතිබුණ බව සොයාගෙන තිබුනත් පසුකාලීනව එය පදනම් විරහිතව වූ දෙයක් ලෙස පිළිගන්නා ලදී.
✅ අතිශය රෝගියෙක්
ඔට්සිගේ සිරුර දැඩිව පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව සොයාගත් දේ වෛද්‍ය ක්ෂේත්රයට ඉමහත් දායාදයක් විය. එකල මිනිසාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සාක්ෂ්‍ය සහිතව නිගමනයකට එළඹිය හැකි වූයේ මේත් සමඟය. නමුත් එකලද වෛද්‍ය ක්ෂේත්රයක් හෝ එයට සමාන යමක් තිබී ඇති බවටද ඔට්සි සාධක සපයයි.
⭕ ඔහූගේ අස්ථි සන්ධි සියල්ලම පාහේ දිරාගොස් තිබිණ.
⭕ ඔහූගේ සිරුර තුළ තිබී මැක්කන් හා කිනිතුල්ලන් සොයාගෙන තිබේ. ඒ අනුව ඔහූ 'Lyme Borreliosis' නම් චර්ම රෝගයෙන් පෙළුන අයෙකි.
⭕ ආහාර ජීර්ණ පද්ධතියෙන් වටපණු බිත්තර සොයාගත් අතර ආහාර මාර්ගය අක්‍රමවත් වී තිබිණ.
⭕ ඔහූගේ ආමාශයෙන් හරි අඩක්ම වැසී පැවතියේ මේද කොටස්වලිනි. (ඒ ඔහූ ගත් ආහාර නිසාය)
⭕ ඔහූගේ ධමනි නාලවල තෙල් තට්ටු තැන්පත් වී තිබීම නිසා සිහින් වී තිබුණි.
⭕ ඔහූගේ පිත්තාශයේ ගල් හා ගල් අඟුරු තැන්පත්
⭕ විදුරුමස් රෝගය දරුණුවට වැළදී තිබූ අතර දත් සියල්ලම පාහේ දිරාපත් වී තිබුණි.
✅ කැපුම් පහර හැට එකක්
ඔට්සිගේ සිරුර වැඩිදුර පර්යේෂණය කරද්දී සොයාගන්නට ලැබුණු දේ අතර Tattoo ලෙස හඳුනාගත හැකි කැපුම් පහර 61 ක් සොයාගෙන තිබේ. ඔහූ ජීවත් වූයේ වසර 5300කට පෙරාතුවයි. ඔහූගේ Tattoo රටා ගැන ඔබට හිතෙන්නේ කුමක්ද ? ඒවා වර්ණවත් හෝ කලාත්මක ඒවා නොවේ. හුදෙක් ඉරි සළකුණු පමණි.
ඒවා කැටයම් කර ඇත්තේ තියුණු ගල් ආයුධ මඟින් වන අතර ඒ මත ගල් අඟුරු භෂ්ම ගල්වා තිබේ. එවිට ඒවා ශරීරයට අවශෝෂණය වන අතර කැපුම් පහර තද වර්ණයක් ගනී. මෙම කැටයම් වැඩිපුරම දැකිය හැක්කේ ඔහූගේ ඉළ ඇට පේලියේ පහළ කොටසේය.
✅ ඔට්සිගේ ආහාර
ඔට්සිගේ ආහාර ගැන අපට සොයාගත හැක්කේ ඔහූගේ අවසන් ආහාර වේලෙනි. ඔහූ මියයන විට ඔහූගේ ආමාශගත වී තිබූ ආහාරයන්ගෙන් ඔහූගේ ආහාර පිළිබඳව දල නිගමනයකට එළඹිය හැක.
ඔට්සිගේ ආහාර සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ පවත්වන ලද්දේ ඕස්ට්‍රේලියානු විද්‍යාඥවරයෙකු වූ චාලි විල්සන් ය. ඔහූගේ පර්යේෂණවලදී සොයාගත් තොරතුරුවලට අනුව ඔට්සි අවසන් වරට ගෙන ඇත්තේ බර ආහාරයකි. Ibex (අයිබෙක්ස්) නම් කඳුකර එළුවාගේ මස්, තිරිඟු, මල් රේණු හා විෂ සහිත මීවන පැළෑටි වර්ගයක් ආහාරයට ගෙන තිබූ බව ඔහූ සනාථ කරයි.
Ibex එළුවන් දැඩි මේද තට්ටුවකින් යුත් එළු විශේෂයකි. ඒ අනුව ඔහූගේ ආමාශයේ හරි අඩක්ම මේදය තැන්පත් වීමද සාධාරණීකරණය කළ හැක. එමෙන්ම මස් හා තිරිඟු පුළුස්සා කන්නට ඇතැයි විශ්වාස කළ හැකි මට්ටමේ සාධකද ඔහූ සතුය. ආමාශගත අඟුරු කොටස් ඊට කදිම සාක්ෂ්‍යයයි.
මීවන පැළෑටි ආහාරයට ගන්නේ ඇයිදැයි මේ වනවිටත් සොයාගෙන නොමැති අතර බොහෝවිට ඖෂධයක් ලෙස භාවිතා කරන්නේද යන්න පිළිබඳව සැක පල කරයි. සමහර විට මරණයට විෂම හේතු වූවාද නැතහොත් රුධිර ගලනය නතර කිරීමට භාවිතා කලාද යන්න ගැන ප්‍රශ්නාර්ථයකි.
එසේම මල් වර්ග 30 ක පමණ මල් රේණු ජීර්ණගතව තිබූ බවත් කියයි. ඒවා කුමකට ආහාරයට ගන්නවාද යන්න හරියටම කිව නොහැකි වුවත් වසන්ත කාලයට ඇල්ප්ස් කඳුකරය එකම මල් වනයකි. සමහර විට බහුල නිසා හෝ පුරුද්දක් ලෙස හෝ ඖෂධයක් ලෙස හෝ ආහාරයට ගත්තා විය හැකිය.
✅ ඔට්සිගේ අභාවය
හිම මිනිසාගේ අභාවය පිළිබඳ සොයාගැනීම් අතිශය තීරණාත්මක ඒවා විය. වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම බදුන් කළ ඔට්සිගේ මමීකරණය වූ දේහය පුරාතණ කඳුකර ජීවිතය ගැන මොනවට කියාපාන්නකි. X-ray හා Scan පරීක්ෂණ රාශියකට පසුව සොයාගනු ලැබූයේ ඔට්සිගේ මරණය ස්වභාවිකව සිදු වූවක් නොවන වගයි.
ඔට්සිගේ වම් උරහිස ප්‍රදේශයෙන් ඊතලයකට සමාන ආයුධයක තියුණු තල කොටසක් හා පිට ප්‍රදේශයේ තිබී ඊතලය සිරුරට ඇතුල් වීමේදී ඇතිකළ විවරය සොයාගෙන තිබේ. එම ප්‍රහාරය නිසා ඔහූගේ ඉහළ පෙදෙසට රුධිරය සපයන ධමනියක් පසාරු වී ගොස් තිබේ. මේ අනුව එළඹිය හැකි නිගමනය නම් ඔට්සිගේ මරණය සිදු වී තිබෙන්නේ හටනක් අතරතුරදී බවයි.
රුධිරය බැහැරට ගැලීමෙන් හෝ රුධිරය ඉහළ පෙදෙසට සංසරණය නොවීම හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බවත් තව විටෙක තුවාල ලද ඔට්සි සිහිසුන් වී ඇදවැටීමෙන් ගලක හිස වැදී මරණය වන්නට ඇති බවත් ප්‍රකාශ කර තිබේ. මීට සාධක වශයෙන් දරුණු පැලුම් තුවාලයක් ඔට්සිගේ හිස්කබලේ සනිටුහන්ව තිබීම ඊට හේතුවයි.
✅ ඔට්සිගේ නෑදෑයෝ
ඔට්සල් කඳු වැටිය ඉතාලියයි ඕස්ට්‍රියාවයි බෙදා වෙන් කරන සේම පුරාතණයේ ඔට්සල් කඳුකරයේ ජීවත් වූවන් වර්තමානයේද පැවතෙන්නේනම් ඔවුන් ජීවත් විය යුත්තේ ඔට්සල් පාමුල ඇති මෙම රටවල් දෙකට අයත් ගම්මානවලය.
මේ අනුව පර්යේෂණ කරමින් ඉදිරියට ආ විද්‍යාඥවරුන් එම ගම්මානවල වැසියන්ගේ DNA පරීක්ෂණ කොට මේ බැව් සොයාගන්නට මහත් සේ කැප විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රුධිර සාම්පල 3700 ක් පරීක්ෂා කොට, ඔට්සිගේ DNA වලට සමාන DNA ඇති පුද්ගලයන් 19 ක් දෙනෙක් මේ වනවිට සොයාගෙන තිබේ.
එම 19 දෙනාම සොයාගනු ලැබූයේ ඉතාලියේ ටිරොල් නම් ඔට්සල් කඳු පාමුල ප්රදේශයකිනි. ඒ අනුව සොයාගත් වැදගත්ම දේ නම් මෙම 19 දෙනාට නෑකම් කියන ආදි මී මුත්තණුවා අදින් වසර 10,000- 12,000 කට එහා ජීවත් වූ අයෙක් බවයි.
✅ ඔට්සිගේ වර්තමාන නිවස
1998 වර්ෂයේ සිට ලෝවාසී ජනතාවට නැරඹිය හැකි පරිදි ඇල්ප්ස් කඳුකරයේ හිම මිනිසාව තැන්පත් කර තිබෙන්නේ ඉතාලියේ බොල්සානෝ නගරයේ දකුණු ටිරොල් පුරාවිද්‍යා කෞතුකාගාරයේය.
|චතුර රුවන් වීරක්කොඩි
|චතුර රුවන් වීරක්කොඩි










No comments:
Post a Comment