ඇත්තම පෑඩ් මෑන් කවුද කියල දන්නවද?
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන බව පැවසූ නිසා මේ දවස්වල "ලංකාවේ පෑඩ් මෑන්" ලෙස සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධව ඇතත්, රියල්ම පෑඩ් මෑන් ලෙස හඳුන්වන්නේ ඉන්දියානු ජාතික අරුණාචලම් මුරුගනාදන් ය.
තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතෝර් නගරයේදී 1961 දී උපත ලැබූ අරුණාචලම්ට වැඩි කාලයක් පාසල් යන්න ලැබුනේ නෑ. පුංචි කාලයේදීම අරුණාචලම්ගේ පියා මිය ගිය නිසා ඔහූගේ මවට සිදු උනා දියණියන් තිදෙනෙකු ඇතුළුව දරුවන් හතරදෙනෙකුගේ බර කරට ගන්න.
මව විසින් පවුලේ සියලු බර තනිවම උසුලන හැටි දකින දාහතර වියැති අරුණාචලම් පාසල් ගමනට සමුදී මව කරමින් සිටි රැකියාවටම සම්බන්ධ වෙනවා. නැගණියන් තිදෙනාව ආදරෙන් උස්මහත් කොට විවාහ කර දීම දක්වාම සියලු වගකීම් ඉටු කිරීමෙන් අනතුරුවයි අරුණාචලම් ඔහූගේ ජීවිතය ගැන හිතන්න පටන් ගන්නේ.
අරුණාචලම්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නෙ ඔහූගේ විවාහයයි. අවුරුදු තිස් හතේදී ශාන්ති සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඔහූ ආදරනීය සැමියෙක් ලෙස බිරිඳව හැකි අයුරින් බලාකියා ගත්තා. නමුත් බිරිඳ මාසිකව මුහුණපාන ඔසප් දින කිහිපය තුළ අපිරිසිදු සනීපාරක්ෂක ක්‍රමයක් භාවිතා කිරීම ගැන ඔහූ සිටියේ දැඩි අපැහැදීමකින්.
දිනක් ශාන්තිගේ ඉනේ සඟවාගෙන සිටින පරන අපිරිසිදු රෙදි කෑල්ලක් දුටු අරුණාචලම් ඇයගෙන් ඒ පිළිබඳ අසා සිටිනවා. ඇය කියා සිටියේ ඔසප් දිනවල එය පාවිච්චි කරන බවයි. අරුණාචලම් වහාම ෆාමසියට ගොස් රෙදි කෑල්ල වෙනුවට ආදේශ කළ හැකි යමක් ගැන විමසන විට සනීපාරක්ෂක තුවා ගැන දැනගන්නවා.
සනීපාරක්ෂක තුවා මිලෙන් ඉහල අයිතමයක් වූවත් බිරිඳට ඇති සෙනෙහස නිසා අරුණාචලම් ඉන් පැකට්ටුවක් මිලදී ගෙන බිරිඳට දෙනවා. නමුත් බිරිඳ ඔහූට ස්තූති කරනවා වෙනුවට හොඳටම බැන වදිනවා. අනවශ්‍ය දේට මෙතරම් මිලක් ගෙවීම නිසා නිවසේ අනෙකුත් වියදම් දරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරනවා. බිරිඳගේ බලකිරීම මත ඔහූ ආයෙත් ෆාමසියට ගොස් භාණ්ඩයේ මිල ඉල්ලා සිටියත් ෆාමසියෙන් භාණ්ඩය බාරගැනීම ප්‍රතික්ෂේප කරනවා.
නොවටිනා පුළුන් කැබැල්ලකට ඉහළ මිලක් ගෙවීම ගැන විමතියට පත් වූ අරුණාචලම්, බිරිඳ වෙනුවෙන් අඩු වියදමෙන් සනීපාරක්ෂක තුවා නිපදවීමට උත්සහා කරන්නේ එදා සිටයි. ඔහූ විසින් හදන සනීපාරක්ෂක තුවාවල තත්වය පරීක්ෂා කිරීම සදහා ඔහූ උදව් පතන්නේ බිරිඳ ශාන්තිගෙන්. අකමැත්තෙන් වුවත් සැමියා තමා වෙනුවෙන් කරන කැපවීම මත ඇය ඊට කැමැත්ත පල කරනවා. නමුත් දිගින් දිගටම අසාර්ථක වන අරුණාචලම්ට අවසානයේ ශාන්තිගේ සහාය නොලැබී යන්නෙ අවාසනාවන්ත ලෙසින්.
ඉන්පසු ඔහූ නිෂ්පාදනය කරන තුවායන් පරීක්ෂා කර බැලීම සදහා පිළිවෙළින් සිය සහෝදරියන්ටද වෛද්‍ය සිසුවියන්ටද ලබාදෙනවා. නමුත් එම අවස්ථාවලද ඔහූට සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වන නිසා අවසානයේ ඒවා පරීක්ෂා කර බැලීමට සිදුවන්නේ ඔහූටම ඇඳගැනීමෙනි.
ඒ සදහා ඔහූ කරනු ලබන්නේ පෑඩ් එකක් (තුවායක්) රහස් ප්‍රදේශයේ තබාගෙන, ඉනේ ගැටගසන ලද බැලූනයක සිට නළයක ආධාරයෙන් සත්ත්ව රුධිරය තුවාය වෙතට කාන්දු කරවීමයි. මෙලෙස දවස් කිහිපයක් පුරාවට කෙරෙන පරීක්ෂණය නිසා අරුණාචලම් වෙතින් වහනය වන්නේ දැඩි දුර්ගන්ධයක්.
ඔහූගේ මේ වැඩපිළිවෙළ නිසා ගමේ ඔහූට විවිධ කටකතා හැදෙනවා. ඔහූව මානසික රෝගියෙක්ගෙ ගොඩටත් තල්ලු කරනවා. අවසානයේදී වෙන්නෙ අරුණාචලම්ගේ පවුලේ අයත් ඔහූව අත්හැර දැමීමයි. ගමේ අයගෙන් ඔහූට කිසිම උපකාරයක් ලැබෙන්නෙ නෑ. ඒත් අරුණාචලම් ඔහූගේ අරමුණ වෙනස් කලේ නෑ. ඔහූ තීරණය කලා දැනට වෙළඳපොලේ තිබෙන තුවාය නිපදවා තිබෙන හැටි ගැන සොයාබලන්න. එතැනදී ඔහූට සහාය වෙන්නෙ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්.
අරුණාචලම්ට ඉංග්‍රීසි භාෂාව නොදන්නා නිසා මහාචාර්යවරයා ඔහූට ලොකු ශක්තියක්. ඒ මාර්ගයෙන් ඔහූ දැනගන්නවා තුවාවල ගල්වනු ලබන අමුද්‍රව්‍යය Cellulose බවත් ඒවා පිටරටකින් ආනයනය කරන බවත්. ඒ වගේම පෑඩ් සාදන යන්ත්‍රයක් කෝටි ගානක් මිලැති බවත්. නමුත් ඔහූ කිසිවිටෙක පරාජය බාරගත්තේ නෑ.
අරුණාචලම් ඉදිරි වසර පහක කාලය මහන්සි වී උපයාගත් වැටුපෙන් කෝටි ගානකට ගෙන්විය යුතු මැශිම ඔහූට තනිවම නිෂ්පාදනය කරගැනීමට හැකි වූවා. වයස අවුරුදු 14 සිට ගොවි කම්කරුවෙකු ලෙස ලබාගත් කාර්මික දැනුමත් මේ සදහා අතිශය උපකාරී උනා කිව්වොත් නිවැරදියි. ඔහූට තව කරන්නට තිබුනේ Cellulose නැමැති අමුද්‍රව්‍යය ආනයනය කරගැනීම පමණි.
අරුණාචලම්ගේ පළමුම සනීපාරක්ෂක තුවා ඛාණ්ඩය ඔය ආකාරයෙන් එළියට ඒමත් සමඟම 2006 වසරේ පැවැත්වුණ ඉන්දියානු ජාතික නවෝත්පාදන තරගයට ඔහූගේ නිෂ්පාදනය ඉදිරිපත් කරනවා. තරගකරුවන් දාහකට ආසන්න ප්‍රමාණයක් අතුරින් අරුණාචලම් ප්‍රථම ස්ථානයට පැමිණෙනවා. ඒ ලැබෙන ත්‍යාග මුදලත් සමඟින් ඔහූ ආරම්භ කරන ව්‍යාපාරය තමයි "Jay Shri Industry" කියන්නේ..
ශාන්ති ආයෙත් අරුණාචලම් ගාවට එන්නෙ ඔහූගෙ ජයග්‍රහණයෙන් පස්සෙයි. ඒ වගේම ගමේ මිනිසුන් පවා දැන් ඔහූට බොහොම ගෞරවයෙන් සළකන්න අරන්. මිනිසුන්ට වරදිද්දි, පරාජය වෙද්දි එයාලව අතහරින හුඟක් මිනිස්සු ආයෙමත් එයාලට හරියද්දි ජීවිතේ දිනද්දි ළංවෙන්නෙ පරණ කිසිවක් උනේ නැති ගානට. ඒත් දියුණු වන මිනිස්සු පරණ පල් දේවල් ඔළුවෙ තියාගන්නෙ නෑ. ඉක්මණට සමාව දෙනවා. අරුණාචලම් කියන්නෙත් එහෙම කෙනෙක්.
අරුණාචලම් තවත් හොඳ වැඩක් කරනවා. ඒ තමයි ඔහූ හැදුවා වගේම තව මැෂිම් 250ක් හදලා ඉන්දියාව පුරා විසිරී සිටින දුප්පත් කාන්තාවන්‍ට බෙදාදීම. ඒ තුළින් කාන්තාවන්ට තිබුණු ලොකුම සෞඛ්‍ය ගැටළුවක් විසඳුනා පමණක් නෙවෙයි අමතර ආදායම් මාර්ගෙකුත් පෑදුනා. මුදල්වලට හොඳහැටි අලෙවි කරන්නට හැකියාව තිබූ යන්ත්‍ර දුප්පතුන්ට නොමිලේ ලබා දෙමින් ඔහූ සමාජයට පරාර්ථකාමීත්වයේ පණිවුඩය ලබාදුන්නා.
අරුණාචලම් මේ වනවිට එම යන්ත්‍රය මහා පරිමාණෙන් නිෂ්පාදනය කර ලෝකෙටම අපනයනය කරනවා. ඒ වගේම ඉන්දියාව පුරා කාන්තාවන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ගැන දේශන පවත්වනවා. බාධක හමුවේ ජීවිතය දිනපු හැටි අරමුණ ජයගත් හැටි ලෝකෙටම කියනවා.
අද මොහූව ලෝ පුරාම හඳුන්වන්නේ පෑඩ් මෑන් ලෙසයි. ඔහූගේ මේ අපූරු කතාව තවත් ලස්සන වෙන්නෙ "පද්ම ශ්‍රී" සම්මානයෙන් පිදුම් ලැබීමත් සමඟිනුයි. ඔහූට මේ වටිනාකම ලැබෙන්නේ 2016 වර්ෂයේදී ඉන්දියානු ජනපති ප්‍රනාබ් මුඛර්ජි මහතා විසින්. ඒ වගේම ඔහූට ගෞරවයක් වශයෙන් "පෑඩ් මෑන්" නමින් 2018 වසරේ චිත්‍රපටයක්ද තිරගත උනා. ආර්. බාලක්‍රිෂ්ණන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ ආක්ෂේ කුමාර් සමඟ රාධිකා ආප්තේ ප්‍රධාන චරිත රඟපෑවා.
බිරිඳට පවුලට සමාජයට ප්‍රේම කිරීම නිසා උන්මත්තකයෙක් ලෙස හංවඩු ගැසූ අරුණාචලම් අද ලෝක වීරයෙක් වූ හැටි හරිම පුදුමයි නේද?
|චතුර රුවන් වීරක්කොඩි




No comments:
Post a Comment