අවසන් ඡන්ද ප්‍රතිඵලය මෙතෙක් ප්‍රකාශ වී නැතත් ඇමෙරිකාවේ මීලග ජනපති ලෙස ජෝ බයිඩන් දැනටමත් අභිෂේක ලබා අවසන්ය.
දින පහක් පුරා උණුසුම් සහ අරගලකාරී ස්වභාවයක් ඉසිලූ ඇමෙරිකානු ජනාධිපතිවරණය තවමත් නිමාවට පත් වී නැත. ජෝර්ජියා සහ උතුරු කැරොලිනා ප්‍රාන්තවල ඡන්ද ගණනය කර අවසන් කිරීම අගහරුවාදා තෙක් ඇඳී යන බවට ආරංචි වී තිබේ.
කෙසේ වෙතත් දැනට ප්‍රකාශ කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කළ ජෝ බයිඩන් මහතාට ආසන 290ක් හා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ආසන 214ක් ජය ගැනීමට හැකි වී තිබේ. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ 46වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතාගේ ජයග්‍රහණය ඒකාන්තය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මුළු මැතිවරණ විද්‍යාල (ඡන්ද කොට්ඨාශ) සංඛ්‍යාව 538කි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සදහා අවම වශයෙන් ආසන 270ක් දිනාගත යුතුය. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සනිටුහන් කළ ප්‍රාන්තය බවට පත්වූයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයයි. ඒ මන්දයත්,
ඔහූ පෙන්සිල්වේනියාව ජයගැනීමත් සමඟ ආසන 270 ජයග්‍රාහී සීමාව තරණය කරමින් 273ක් දක්වා ළඟා වීමට හැකිවීම නිසයි. ඒත් සමඟම ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ලෙසින් ලෝ පුරාම සැලවන්නට විය. එහිදී මා දුටු තවත් විශේෂ කරුණක් වන්නේ ප්‍රාන්ත පහක සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කර නොතිබියදීත් ජෝ බයිඩන් විසින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබීමයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරාජයත් සමඟින් ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ එක්වරක් පමණක් ධූරය හෙබවූ ජනාධිපතිවරුන් අතරට ඔහූද එක්වේ. මින් පෙර ජනාධිපතිවරු පස්දෙනෙකුට තම ධූරය දෙවෙනිවර රැකගැනීමට නොහැකි වී තිබේ. ඒ
1. ජෝර්ජ් එච්.ඩබ්. බුෂ් - 41වන ජනාධිපති (1989-1993)
2. ජිමී කාටර් - 39වන ජනාධිපති (1977-1981)
3. ජෙරාල්ඩ් ෆෝඩ් - 38වන ජනාධිපති (1974-1977)
4. හර්බට් හූවර් - 31වන ජනාධිපති (1929-1933)
5. විලියම් හොවාර්ඩ් ටෆ්ට් - 27වන ජනාධිපති (1909-1913)
1900න් පසු වසර 120ක කාලයක් පුරාවට ඇමෙරිකාවේ මැතිවරණ ඉතිහාසය තුළ ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතයේ (VTR) ඉහළම අගය වාර්තා කර තිබෙන මැතිවරණය මෙය වේ. 1900 පැවැති මැතිවරණයකදී සමස්ත ඡන්දදායකයින්ගෙන් 73.7ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි. මෙවර මැතිවරණය එම අගය ඉක්මවමින් 79.2ක ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.
එසේම ජනතාව විසින් මෙතෙක් තෝරාගත් වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන්ද, කළු ජාතික සහ දකුණු ආසියානු සම්භවයක් සහිත කාන්තාවක් ඇමෙරිකාවේ උප ජනාධිපති ධූරය හොබවන ප්‍රථමයා වශයෙන් කමලා හැරිස් ද තෝරා පත්කරගත් මැතිවරණය ලෙස ඉතිහාසගත වනු ඇත.
ජෝසෆ් රොබිනේට් බයිඩන් 1942 වසරේ උපන්නෙකි. හතරදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ ඔහූ කුඩා කාලයේදී කතාබහ කිරීමේදී ගොත ගැසීමක් පෙන්වූ දරුවෙකි. ඒ නිසාම ඔහූට ජෝසෆ් යන්න උච්චාරණය කිරීම අසීරු වූයෙන් 'ජෝ' ලෙස කෙටිව යොදාගැණිනි. ඩෙලවෙයාර් විශ්වවිද්‍යාලයෙන් සහ Syracuse නීති පීඨයෙන් අධ්‍යාපනය හමාර කොට වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නට විය.
ජෝ බයිඩන් ප්‍රථම වරට සෙනෙට් සභිකයෙකු ලෙස සෙනෙට් සභාවට තේරීපත් වන්නේ 1972දීය. නමුත් ඔහූ එම ධූරයේ දිවුරුම් දීමටත් පෙර සිය බිරිඳත් දියණියත් මරණයට පත් වන්නේ වාහන අනතුරක් නිසාවෙනි. එම අනතුරින් පුතු සහ බිරිඳගේ පියා දිවි ගලවාගන්නා අතර ජෝ බයිඩන් වසර දාහතරක් පුරාවට සිය පුතු සමඟ ජීවිකාව ගෙන ගියේය.
1986දී ඔහූ නැවත විවාහයක් කරගත් අතර තවත් පුතෙකු ලැබීය. ජෝ බයිඩන් දේශපාලකයෙක් ලෙස ජනතාව අතර ප්‍රසිද්ධ වන්නේ 1987දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමඟිනුයි. නමුත් ජනාධිපතිවරණයට පෙර ඔහූ එම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වේ. ඉන්පසු ඔහූ නැවත උප ජනාධිපති අපේක්ෂක ලෙස නම් කෙරෙන්නේ බැරැක් ඔබාමා යටතේය. අද බයිඩන් ජනාධිපති සිහිනයට ළගාවීමට හේතු වූයේ එදා ඔහූ ලද එම අනගි අවස්ථාවයි.
2015දී ජෝ බයිඩන්ගෙ වැඩිමල් පුතු වූ බියූ බයිඩන් පිළිකාවක් නිසා මරණයට පත් වන අතර ජෝ බයිඩන් නැවතත් මානසික අවපීඩනයකට බදුන් වේ. බාල පුතු ඈෂ්ලිද දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි. මේ සියල්ලත් සමඟින් 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ජෝ බයිඩන්ට කිසිසේත් කළ හැක්කක් නොවීය.
අවසානයේ හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තරගවැදුනු අතර ඇයට පරාජයට පත්වන්නට විය. නමුත් 2020 ජනාධිපතිවරණය සදහා ජෝ බයිඩන් වැඩි සාමාජික කැමැත්තකින් නම් කරනු ලැබීය. කමලා හැරිස් ඔහූගේ උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස නම් කරනු ලැබීය.
කමලා හැරිස් දකුණු ඉන්දීය හා ජැමෙයිකානු සම්භවයක් සහිත කාන්තාවකි. ඔහූගේ පියා ජැමෙයිකානු ජාතිකයෙක් වන අතර මව දකුණු ඉන්දියාවේය. ඇය ගැන අපි තවත් ලිපියකින් කතා කරමු.
|චතුර රුවන් වීරක්කොඩි
No comments:
Post a Comment