Thursday, November 12, 2020

කමලා හැරිස් නම් වූ අසහාය කාන්තාව



ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති (Vice President) ධූරයට කාන්තාවක් තේරී පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ. කළු ජාතික හා දකුණු ආසියාතික සම්භවයක් සහිත කාන්තාවක් වන කමලා දේවි හැරිස් එම ධූරයට පත්වීම තුළින් ඇමෙරිකාවේ දේශපාලන ගමන් මගේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කර ඇත.


දින කිහිපයකට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අවසාන භාගයට ළගාවීමත් සමඟ නව ජනාධිපති ලෙස ජෝ බයිඩන් මහතා තේරී පත්වීමෙන් අනතුරුව කමලා හැරිස් ඇයගේ ට්වයිටර් පිටුවේ බයිඩන් මහතාව ටැග් කරමින් සටහනක් තැබුවේ "ඔව්. අපි එය කළා" යනුවෙනි. 


ඉන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය කවයකදී කමලා හැරිස් කළ  ප්‍රකාශය ලොවට මහඟු ආදර්ශයක් හා  දී තිබේ.


"මෙම ජයග්‍රහණය ලැබූ පළමු කාන්තාව මා විය හැකි නමුත්, අන්තිමයා මා නොවිය යුතුයි. මීටත් වඩා අභියෝග ඔබට ජය ගත හැකි බව, අද රාත්‍රියේ මෙය බලාසිටින සෑම කුඩා දැරියක්ම දැනගත යුතුයි."


ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයත් සමඟින් කමලා හැරිස් ඇමෙරිකාවේ උප ජනාධිපතිනිය බවට පත් වූවත් ඇය මුලින්ම තරග කලේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමටය. 


නමුත් ජෝ බයිඩන් මහතා බැරැක් ඔබාමා යටතේ උප ජනාධිපති ධූරය හෙබවීමත්, 2015දී ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ලබා තිබීමත් යන ජ්‍යෙෂ්ඨත්වය මත එම අවස්ථාව ජෝ බයිඩන්ට හිමිවිය. එම නිසා ඔහූගේ උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස්ගේ නම යෝජනා වූයේ ඉන් පසුවය.


උප ජනාධිපති ධූරයට පත් ප්‍රථම කාන්තාව කමලා හැරිස් වන නමුත් ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ මින් පෙර කාන්තාවෝ දෙදෙනෙක් එම ධූරයට තරග කර තිබේ. ඒ 1984දී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජෙරල්ඩීන් ෆෙරාරෝ සහ 2008දී රිපබ්ලිකන් පක්ෂයෙන් සාරා පාලින් යන අයයි. 


ජනාධිපති අපේක්ෂකත්වය සදහා කාන්තාවකගේ නමක් යෝජනා වූ ප්‍රථම අවස්ථාව වන්නේ 1872දී ඒ වික්ටෝරියා වූඩ්හල් ය. නමුත් බහුතර කැමැත්තක් සහිතව ජනාධිපති අපේක්ෂකත්වයට තරග කළ ප්‍රථම කාන්තාව ලෙස නම් දරන්නේ හිලරි ක්ලින්ටන් මහත්මියයි. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව 2016 දීය.


කෙසේ වෙතත් කමලා හැරිස්ගේ ජයග්‍රහණය ඇමෙරිකානු ඉතිහාසයේත් ලෝක දේශපාලනයේත් කිසිදා අමතක නොවන සේ රන් අකුරින් ලියැවෙනු ඇත. එසේම මෙතැන් පටන් ඇය ලොවට බලපෑම් කළ හැකි කාන්තාවන් අතර ඉහළින්ම වැජඹෙනු ඇත.


කමලා දේවි හැරිස් වන ඇය උපන්නේ 1964 ඔක්තෝම්බර් 20 වෙනිදා කැලිෆෝනියාවේ ඕක්ලන්හිදීය. ඇගේ මව දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර උපත ලැබූ ශ්‍යාමලී ගෝපාලන් වන අතර පියා ජැමෙයිකාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ ඩොනල්ඩ් ජැස්පර් හැරිස් නම් මහාචාර්ය වරයෙකි.


1938දී චෙන්නායිහි උපන් ශ්‍යාමලී ගෝපාලන් දිල්ලි සරසවියෙන් අධ්‍යාපනය හමාරකොට ආචාර්ය උපාධිය සදහා ඇමෙරිකාවේ කැලිෆෝනියා සරසවියට පැමිණ ඇත්තේ 1958දීය. ඇය පියයුරු පිළිකා පිළිබඳ පර්යේෂිකාවක්, විශේෂඥවරියක් මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියක් විය.


කිංස්ටන්හි හි උපත ලබා ඇමෙරිකාවට සංක්‍රමණය වී පසුව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ඩොනල්ඩ් ජේ.හැරිස් සමඟ විවාහ වන ශ්‍යාමලීට දියණියන් දෙදෙනෙක් ලැබෙන්නීය. කමලා දේවි සහ මායා ලක්ෂ්මි වන ඔවුන් කුඩා කල සිටම හැදී වැඩුනේ මව ශ්‍යාමලී භාරයේය. ඒ ඩොනල්ඩ් හැරිස් ශ්‍යාමලීගෙන් දික්කසාද වීමෙන් අනතුරුවය.


වැඩිමල් දියණිය කමලා හොවාර්ඩ් සරසවියෙන් සහ කැලිෆෝනියා සරසවියෙන් නීතිය හදාරා වෘත්තියෙන් නීතිවේදිනියක වූවාය. බාල දියණිය වන මායා ලක්ෂ්මිද නීතිඥවරියකි. මායා විවාහ වූයේද නීතිඥවරයෙකු සමඟය. අද ඔහූ එක්සත් ජනපදයේ සහකාර නීතිපතිවරයෙක් ලෙස කටයුතු කරයි. එම දෙපලගේ දියණිය මීනා ද නීතිඥවරියකි.


කමලා විවාහ වූයේ නීතිඥවරයෙකු වන ඩග්ලස් එමෝෆ් සමගය. විවාහයත් සමග සැමියාගේ කලින් විවාහයේ දරුවන් දෙදෙනෙකුට ආදරනීය මවක් වන්නටද කමලාට සිදුවිය. ඩග්ලස් යුදෙව් ජාතිකයෙක් වන අතර කමලා අර්ධ හින්දු භක්තිකයෙකි. ඇමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපති අපේක්ෂකත්වය සදහා තරග කළ තුන්වන හින්දු ආගමිකයා කමලාය. අනෙක් දෙදෙනා බොබී ජින්ඩාල් (රිපබ්ලිකන් - 2016) සහ තුල්සි ගැබාර්ඩ් (ඩිමොක්‍රටික් - 2020) ය. 


කමලා හැරිස් නීතිඥවරියක ලෙස වෘත්තියට පිවිසෙන්නේ 1990දීය. 2011 වනවිට ඇය කැලිෆෝනියාවේ නීතිපති ධූරයට උසස්වීම් ලබන අතර 2017දී ධූරයෙන් ඉවත් වී සෙනෙට් සභා මැතිවරණයට තරග කරන්නීය. ඉන් ජය ගන්නා ඇය සෙනෙට් මණ්ඩලයට තේරී පත්වන අතර වසර තුනක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ උප ජනාධිපති ධූරය දක්වා පැමිණ තිබීම ලෝකයේම අවධානයට හා විමතියට හේතු වී තිබේ.


මව ශ්‍යාමලී සමඟ කාලයක් ඉන්දියාවේද ජීවත් වූ කමලාට ද්‍රවිඩ සංස්කෘතිය අලුත් දෙයක් නොවේ. අදටත් දකුණු ඉන්දියාව ගැන ආඩම්බරෙන් කතා කරන කමලා හැරිස්ගේ ප්‍රියතම ආහාරය ඉඩ්ලි හා මසාල වඩේ සමඟ සාම්බාරු හොද්දය.


|චතුර රුවන් වීරක්කොඩි

No comments:

Post a Comment