Saturday, October 10, 2020

ප්‍රංශ ජාතික ප්‍රාණ ඇපකාරිය නිදහස් වෙයි.


මන්දපෝෂණයෙන් පීඩා විඳින දරුවන්ගේ සුබසාධන කටයුතු ගැන සොයාබැලීමට ස්වේච්ඡා සේවිකාවක ලෙස ප්‍රංශයෙන් මාලි රාජ්‍යයට පැමිණි සොෆී පෙට්‍රොනින් නම් කාන්තාවක් 2016 දෙසැම්බර් මාසයේ දිනක ගාඕ නගරයේදී පැහැරගනු ලැබුයේ එරට ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසිනි.

වසර හතරක කාලයක් පුරාවට රඳවා තබාගෙන සිටි සොෆී පෙට්‍රොනින් මීට දින දෙකකට ඉහතදී නිදහස් කල අතර ඊයේ දිනයේදී බමාකෝ අගනුවර ප්‍රංශ තානාපති කාර්යාලයට සේන්දු වූවාය. සොෆී පෙට්‍රොනින් එම ත්‍රස්තවාදී කණ්ඩායම රඳවාගෙන සිටි අවසාන ප්‍රංශ ජාතික ප්‍රාණ ඇපකාරිය විය.

සොෆී පෙට්‍රොනින් නිදහස් වනවිට 75 හැවිරිදි වියෙහි පසු වූ අතර, ඇය සමඟ තවත් ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙක් නිදහස් කර තිබේ. ඇය සමඟ නිදහස් වූ අනෙක් තිදෙනා වන්නේ ඉතාලි ජාතිකයන් දෙදෙනෙක් හා මාලි දේශපාලනයේ නියැලී සිටි තැනැත්තෙකි.

අන්තවාදීන්ගෙන් මිදී බමාකෝ නුවරට සේන්දු වූ සොෆීව පිළිගනු ලැබුවේ ඇයගේ පුතු වූ සෙබස්තියන් චැඩවුඩ් විසිනි. වසර හතරක සිරකාර දිවිය ගැන ජාත්‍යන්තර මාධ්‍යය සොෆීගෙන් විමසූ විටදී  ඇය පවසා සිටියේ එම කාලය අධ්‍යාත්මික හුදකලාවක් ලෙස තමා දරාගත් බවයි.

එසේම ඇයව පැහැරගැනීමට ලක්වූ ගාඕ නගරයට නුදුරු දිනකදීම යන බවත්, වසර හතරකට පෙර තමාට සම්පූර්ණ කිරීමට නොහැකි වූ කාර්යය එනම් මාලිහී අනාථ සහ මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් උදෙසා කළ මානුෂික වැඩපිළිවෙළ නැවත ආරම්භ කරන බවත් බමාකෝ අගනුවර පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලය ඉදිරිපිටදී ඇය මාධ්‍යයට ප්‍රකාශ කළාය.

"පෘථිවිය මත ජීවත්වෙන අපි හැමෝටම, ඉදිරියට යාමේදී බොහෝ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවනු ඇත. සිදුවන දේ ඔබ පිළිගන්නේනම් ඒ තරම් නරක නොවේවි. පිළි නොගන්නේනම් එය ඔබවම රිදවාවි."


ඊයේ දිනයේදී ප්‍රංශ ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් සොෆී පෙට්‍රොනින් පැරිස් නුවරට සේන්දු වූ අතර ඇයව පිළිගැනීමට ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පැමිණ සිටියේය. ඇයගේ නිදහස ගැන තමා බොහොමත්ම සතුටු වන බවද ඉදිරි වැඩ කටයුතුවලදී සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.

|චතුර රුවන් වීරක්කොඩි

No comments:

Post a Comment