Sunday, July 28, 2019

වර්ණ පහේ විශ්මිත ගංඟාව


"Caño Cristales" කියන්නෙ මෙලොව විශ්මයජනක ගංඟා කිහිපයෙන් එකක්.. එම ගංඟාව විශේෂ වීමට හේතුව ඊටත් වඩා විශ්මයජනක එකක්..


මේ ගංඟාව අයිති කොලොම්බියාවටයි. මෙටා ප්‍රාන්තයේ පිහිටි "Serranía de la Macarena" නම් ජාතික උද්‍යානයේ පිහිටා තිබෙන මේ ගංඟාවට වර්ණ පහේ ගංඟාව යැයිද කියති. (River of Five colours)

රතු, කොළ, කළු, කහ සහ නිල් වර්ණවලින් යුක්තව ජලය පැවතීම බැලූ බැල්මට ආශ්චර්‍යජනක මෙන් පෙනුනද ගංඟාවට ඒ වර්ණ පහ ලැබීම පසුපස සැඟවුණු ස්වාභාවධර්මයාගෙ රහස් පහක් ගැබ්ව තිබේ.


* ජලයට රතු  පැහැය ලැබෙන්නේ මැකරේනියා ක්ලැවිගෙරා නැමති ජලජ පැළෑටි නිසාය.
* ජලය කොළ පැහැ ගැන්වෙන්නේ ඇල්ගී විශේෂ නිසාය.
* ජලයට කළු වර්ණයෙන් පෙනෙන්නේ ගං පතුලේ ඇති පාෂාණ නිසාවෙනි.
* ජලයට කහ පැහැය ලැබෙන්නේ ඉවුරු දෙපස ඇති තිරිවාන වැලි නිසාය.
* නිල් වර්ණය නම් ජලයේ ස්වාභාවික වර්ණයයි.

මෙලෙස වර්ණ පහකින් යුක්තව ගංඟාව දක්නට ලැබෙන්නේ වසරකට මාස පහක් පමණි. එනම් ජූලි සිට නොවැම්බර් දක්වා පමණි. අනෙක් කාලවලදී මැකරේනියා ක්ලැවිගෙරා පැළෑටි දළුලන්නේ නැති නිසා හා ඇල්ගී විශේෂ ද මියයන නිසා සාමාන්‍ය ගංඟාවක් මෙන් දිස් වේ.


 කැනෝ ක්‍රිස්ටල්, ස්වාභාවික තටාක හා කුටීර ආදී ස්වාභාවික නිර්මාණ උත්පන්න කරමින් නිබඳව ගලා බසින අතර සැතපුම් 69 ක් තරම් දිගට ඇදේ.. එසේම මේ ගංඟා ජලය තුළ මසුන් දක්නට ලැබෙන්නේ නැත. එසේ වන්නේ ඇල්ගී ශාක හා ජලජ පාෂාණවලින් ජලයට එක් වන රසායනික සංයෝග නිසා මෙම ජලයේ කිසිම ජලජ ජීවියෙකුට ජීවත්විය නොහැකි නිසාය.

|චතුර රුවන් වීරක්කොඩි

No comments:

Post a Comment