ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලු ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ රාමසාන් උපවාස මාසයේ අවසන් දිනය අදයි. ඊද්-අල්-ෆිතර් යන්නෙහි තේරුම මා දන්නා තරමින් "පරිත්‍යාග කිරීමේ මාසය" වේ.
රාමසාන් උපවාසය ඇරඹෙන්නේ ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව "ශව්වාල්" මාසයේය. නව සඳ බලා ආරම්භ කරන උපවාසය ඊළග මාසයේ නව සඳ බැලීමෙන් පූරණය කරනු ලබයි. සාමාන්‍යයෙන් මෙම කාලය දින 28-30 ත් අතර වේ. එසේම මෙම උපවාස මාසය අනිවාර්‍යෙන්ම මෙම මාසයයැයි නිශ්චිතවම කිව නොහැක. මන්ද චන්ද්‍ර මාස ක්‍රමයට අනුව මාස ගැණෙන්නේ දින 28 න් 28ට බැවිනි.
ශව්වාල් මාසය ඉස්ලාම් භක්තිකයන්ට වැදගත් වීමට තවත් හේතුවක් වන්නේ අල් කුරාණය පහළ වී තිබෙන්නේ මෙම මාසයේදී වීමයි. ඒ අල්ලාහ් දෙවියන්ගේ දේවදූතයෙක් වූ ජීබ්‍රියල් විසින් ක්‍රි.වර්ෂ 610 දී "ලයිලතූල් කාදර්" නම් වූ ශුද්ධ වූත් බලවත් වූත් නිර්මල රාත්‍රියේදීය. එම දිනය යෙදී ඇත්තේ ශව්වාල් මාසයේ අවසාන ඔත්තේ දින පහෙන් එක් දිනයකැයි විශ්වාසයක් ඇත.
හිරු උදාවීමට ප්‍රථම උපවාසය ආරම්භ කිරීම සාමාන්‍ය පිළිවෙතයි. උපවාසයේ නිරතවන ඉස්ලාම් භක්තිකයෝ අළුයම අවදි විය යුතුය. පිරිසිදු වීමෙන් අනතුරුව "සුහුර්" චාරිත්‍රය ඉටු කරනු ලබයි. එනමින් හඳුන්වන්නේ උදෑසනම එනම් හිරු උදාවට කලින් ලබාගන්නා ආහාරවේලයි. කෑම කෑමෙන් පසු වතුර වැඩි ප්‍රමාණයක් බීම සාමාන්‍ය පුරුද්දකි. ආයෙත් පැය ගණනාවක් යනතුරු ( බොහෝවිට පැය දොළහකට ආසන්න) වතුර තියා කෙළ බිඳක්වත් බීමට අවසර නැත.
හිරු අවරට යාමෙන් පසු ඉටු කරන චාරිත්‍රය "ඉෆ්තාර්" වේ. එනම් උපවාසය බිඳීමයි. අප සාමාන්‍ය ව්‍යවහාරයේදී නෝම්බි හැරීම ලෙස හඳුන්වන්නේ ආන්න ඒ චාරිත්‍රයයි. ඒ සදහා රටඉඳි තුනක් ආහාරයට ගෙන තේ කෝප්පයක් බීම බහුලව අනුගමනය කරන්නකි. ආගමික නායක මුහම්මද් නබි තුමා උපවාසය බිඳ ඇත්තේ එලෙසින් බැව් ශුද්ධ වූ කුරාණයේ සදහන් වේ.
මෙසේ දින 28ක් -30ක් අතර දින ගණනක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව උදාවන්නේ "ඊද්" දවසය. මාසයක් පුරාවට මෙලෙස ආහාරපාන වර්ජනය කරමින්, ආගම අදහමින්, අනෙකාට ඊර්ෂ්‍යා නොකරමින්, අධර්මයෙන් මිදෙමින්, යහපත් අරමුණකින් ඔවුන්ගේ එකම සර්වබලධාරි දෙවියන් වන අල්ලාහ් වෙනුවෙන් කාලය ගත කිරීම හා ස්තූති කිරීම ඉස්ලාම් ආගමිකයෙකු වශයෙන් සිදුකල යුතු අනිවාර්ය වතාවත් පහෙන් එකක් ලෙස සැළකේ.
ඊද් දිනයේදී ඉටු කරන තව චාරිත්‍රයක් නම් "ඊද්-අල්-ෆිතර්" ය. එනම් දුගී දුප්පත් මිනිසුන්ට ධනයෙන් ධාන්‍යයෙන් ආධාර කිරීමයි. සමහරු මෙම චාරිත්‍රය උපවාසය ආරම්භයේදීම කරන බවක්ද දක්නට ඇත. කෙසේ වෙතත් මෙම චාරිත්‍රයේදී කෙරෙන්නේ තම සේවකයන්ට හෝ අසල්වැසි දුප්පතුන්ට සහල් සේරු දෙක බැගින් ත්‍යාග කිරීමයි. මෙම මාසය පරිත්‍යාගයේ මාසය නමින් හඳුන් වන්නේ එනිසාය.
ඉස්ලාම් ආගමිකයෝ පැය දොළහක් කුසගින්නේ සිටින්නේ කුසගින්නේ වේදනාව හොඳින් තේරුම්ගත යුතු නිසා බැව් කුරාණයේ දක්වා තිබේලු. මේ නිසා ඔවුන් සැමවිටම තමාගේ අනෙක් ජනතාව දෙස නිර්ලෝභීව හා ත්‍යාගශීලීව බැලීමට නැඹුරු කරයි.
මුහම්මද් නබිතුමා වරක් ඔහූගේ එක් බිරියක් වූ අයීෂාට මෙසේ කියා ඇත.
"අයීෂා.. ඔබ කෑම පිසිද්දී ඒවාට වැඩිපුර වතුර දමන්න. එවිට අපිට අසල්වැසියන්ටත් එයින් මඳක් හෝ බෙදා දිය හැකියි. අපගේ නිවසට උතුරින් නිවෙස් හතළිහකද, දකුණින් නිවෙස් හතළිහකද, බස්නාහිරින් නිවෙස් හතළිහකද, නැගෙනගිරින් නිවෙස් හතළිහකද වෙසෙන්නේ අපගේ අසල්වැසියන් වෙත්"
ඊද් දිනයට හා පරිවාර උපවාස දිනවලදී ඔවුන් නෝම්බි හරින වේලාවේදී ඔබගේ නිවසටද යම් ආහාර තැටියක් ලැබෙන්නේ ආන්න ඒ ආගමික පාඩම නිසාය. සහල් හා මස් මිශ්‍ර කැඳ විශේෂයක් ඔවුන් විසින් අනිවාර්යයෙන්ම පිළියෙළ කරන අතර බිරියානි, පැටිස්, සමෝසා, බොන්ඩා, රොටී මෙන්ම වටලප්පන්, ගුලාබ් ජාමුන්, කීර්, පුඩිම් ආදී රසකැවිලිද රාමසාන් මාසයට නැතිවම බැරි ය.
මෙසේ දුගී දුප්පත් අසල්වැසියන් සමඟ තියෙන දෙයක් බෙදාහදාගෙන සතුටින් හා සාමයෙන් ජීවත් වූ විට මරණයෙන් පසු දෙව්ලෝ උපදින බවත් දිව්‍ය සැප සම්පත් ලැබෙන බවත් ඉස්ලාම් ආගමේ ඉගැන්වේ.
|චතුර රුවන් වීරක්කොඩි







No comments:
Post a Comment