Saturday, June 22, 2019

දකුණෙන් උතුරට යන 🌾 සෞභාග්‍යයේ තෑග්ග..

දකුණෙන් උතුරට යන සෞභාග්‍යයේ තෑග්ග.. 🌷

හාමතින් පීඩාවිඳින උතුරු කොරියාවට සහල් ටොන් 50,000ක් ආධාර කිරීමට දකුණු කොරියාව සැළසුම් කරයි. වසර දහයකට පසු උතුරු කොරියාවට ආහාරමය ද්‍රව්‍ය වශයෙන් ආධාරයක් ලැබෙන්නේ ප්‍රථම වතාවටය.


‍රට පුරා පැතිරුණ දරුණු ඉඩෝරය හා රටට පැනවී ඇති ආර්ථික සම්බාධක හේතු කරගෙන මෙලෙසින් රට තුළ ආහාර හිඟතාවයක් නිර්මාණය වී තිබේ. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව 2008 වසරේ සිට උතුරු කොරියාවේ වාර්ෂික අස්වැන්න ද බොහෝසෙයින් පහත වැටී තිබේ.

දකුණු කොරියාවේ විදේශ ඒකාබද්ධතා අමාත්‍යංශය පවසන පරිදි මෙම සහල් තොගය හැකි ඉක්මණින්ම ප්‍රවාහනය කර දීමට බලාපොරොත්තු වන අතර එක්සත් ජාතීන්ගේ #ලෝක_ආහාර_වැඩසටහන (WFP) මෙම ආහාරමය ද්‍රව්‍ය ආධාරයේ අධීක්ෂණ කටයුතු භාරව සිටී.


දකුණු කොරියාවේ ඒකාබද්ධතා අමාත්‍ය #Kim_Yeon_Chul මහතා ප්‍රකාශ කර සිටියේ උතුරු කොරියානු ජනතාවගේ දුක්ඛිත තත්වය අසල්වැසියන් විදිහට අපට මගහැර සිටිය නොහැකි බවයි.

දකුණු කොරියාව අවසන් වරට උතුරු කොරියාවට ආහාරමය වශයෙන් ආධාරයක් කලේ 2010 වසරේදී වන අතර එම සහල් ප්‍රමාණය මෙවර යෝජනා කර සිටින සහල් ප්‍රමාණයෙන් දහයෙන් පංගුවකි. එනම් සහල් ටොන් 5,000කි.

රටවල් දෙක අතර සබඳතා වර්ධනය කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කළ උතුරු කොරියාවේ කාන්තා සහ ළමා පෝෂණ වැඩසටහනට ඇමෙරිකන් ඩොලර් මිලියන 8ක් ද ලබාදී තිබේ.

එම වැඩසටහනේ පහුගිය වාර්තාව අනුව උතුරු කොරියානුවන් මිලියන දහයක්  හදිසි ආහාර අවශ්‍යතාවයකින් පසුවෙන අතර එම ප්‍රමාණය රටේ සමස්ත ජනගහනයෙන් 40% කි. තවද මෙම ජනතාව වසර 37ක් පුරාම ජීවිතය පවත්වාගෙන ඇත්තේ දවසකට ආහාර ග්‍රෑම් 300ක් වැනි සුළු ප්‍රමාණයකිනි. එසේම සෑම පුද්ගලයන් පස්දෙනෙකුගෙන්ම දෙදෙනෙක් මන්දපෝෂණයෙන් පෙලෙන්නෝ වෙති. මෙතරම් දුක්ඛිත තත්වයක් යටතේ ඔවුන් ගෙවන ජීවිතය කෙතරම් කටුකදැයි ඔබට සිතාගත හැකි නේද?

උතුරු කොරියානුවන් ආහාර නිෂ්පාදනය වෙනුවෙන් දශක ගණනාවක්ම අරගල කළත් විටින් විට ඇති වන දරුණු ඉඩෝරාදියෙන් සියදහස් ගණන් මිය ගියහ. ඒ අතරතුර රජය ක්‍රියාත්මක කළ න්‍යෂ්ටික හා මිසයිල පුහුණු වැඩසටහන් නිසා ජාත්‍යන්තරයෙන් ආර්ථික සම්බාධක පැනවිණි. මේ සෑම අවස්ථාවකදිම පීඩා වින්ඳේ අසරණ ජනතාවය.

දකුණු කොරියාවේ සමහර මාධ්‍ය ආයතන පෙන්වා දෙන්නේ මෙම ආධාර වැඩසටහන හරහා දෙරට අතර පවතින දේශසීමා අරගලය සමථයකට පත් කරගැනීම අරමුණ බවයි. නමුත් රජය පවසන්නේ මෙය කිසිම දේශපාලනික අරමුණක් නොව මනුෂ්‍යත්වය පාදක කරගෙන සිදු කෙරෙන ආධාර වැඩසටහනක් බවයි.

උතුරු කොරියානු නායක #කිම්_ජොන්_උන්, න්‍යෂ්ටික වැඩසටහන් තාවකාලිකව නවතාදැමීම මත තව බොහෝ රටවලින් මානූෂීය ආධාර ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ අතර ඇ.එක්සත් ජනපදය හා චීනය යන රටවල් පෙරමුණක් ගනු ඇතැයි අනුමාන කළ හැකිය.



එමෙන්ම මෙම අපූරු තෑග්ග කොරියානු අර්ධද්වීපය දෙකඩ කළ උතුරු දකුණු විරසකයේ අවසානයට ළංවීමක් විය හැක.

|චතුර රුවන් වීරක්කොඩි

No comments:

Post a Comment