ගෝජෝසොන් අධිරාජ්‍යයට වසර 4350යි.
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••
개천절 -කෙචොන්ජොල් ලෙස හඳුන්වන අද දිනය කොරියානුවන්ගේ පැරණිතම ජාතික උත්සවය වන #කොරියාවේ_පදනම්_දිනය වේ. හෙතෙම කොරියාවේ මහජන හා පොදු නිවාඩු දිනයක් ලෙස ව්‍යවස්ථාගත කොට තිබේ.
මෙහි වැදගත්කම මඳක් විමසා බැලීමේදී ශ්‍රී ලාංකික අපටද ඉස්මතු කරගත හැකි දෙයක් ඇත. ලිඛිත ඉතිහාසය තුළ වසර 2500 ක් පැරණි ජාතියක් ලෙස ශ්‍රී ලාංකික අපි වාර්තාගත වී තිබුණත් ඉන් එහාට ගිය දීර්ඝ ඉතිහාසයක් ඇතැයි බහුතරයක් විශ්වාස කරයි. මේ ලිපිය ඔබේ එම තර්කයට බලපාන්නෙ කෙසේද යන්න ඔබම සිතා බලන්න.
ඇත්තටම පදනම් දිනය යනු කුමක්ද යන්න බොහෝ අය නොදන්නා කරුණකි. පූර්ව කොරියාවේ ඉපැරණි පුරාවෘත්තයක් හේතුකරගෙන අදටත් කොරියානුවන් විසින් වසරක් පාසා සමරනු ලබන #කෙචොන්_උත්සවය ක්‍රිස්තු පූර්ව 2333 දක්වා ආපස්සට රැගෙන යන්නකි. කොරියානුවන්ගේ ප්‍රථම රාජධානිය බිහිවන්නේ #ජෝසොන්_අධිරාජ්‍යයාගේ මූලිකත්වයෙන් ඒ සමයේදීය.
ඉතිහාසයේ මුලින්ම කොරියානුවන් සම්බන්ධයෙන් කියවෙන්නෙ හා හැඳිනගන්නේ ජෝසොන් අධිරාජ්‍යයාගේ පුරාවෘත්තයෙන් බැවින් එය කොරියානු ජාතියේ හා ජන වර්ගයේ ආරම්භය ලෙස නැතහොත් පදනම ලෙස හුවා දක්වමින් සහස්ර ගණනාවක් පුරා පාරම්පරිකව අද වෙනතෙක්ම ඉදිරියට පැමිණ තිබේ.
පර්යේෂණ ආදියෙන් සනාථ වූ හා ලිඛිත සාක්ෂි මඟින් පිළිගතහැකි ජෝසොන් අධිරාජ්‍යය පැවැතියේ 1392-1897 කාල සීමාවේය. නමුත් පුරාවෘත්තාත්මකව පැවැත එන ජෝසොන් අධිරාජ්‍යය කොරියානුවන් විසින් කිසිදිනක බැහැර කර නොමැත. සෝල් පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා ඇති මැටි ලිපිය පමණක් වසර 2400ක් පැරණි බව මේ වෙනවිට සනාථ කරගෙන තිබේ.
මැටි ලිපිය හා ඒ සමඟ සොයාගත් අල්ප සාක්ෂ්‍ය මත කොරියානු ජාතිය දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන බව ඔවුහු අදටත් විශ්වාස කරන අතර අනාගත පරපුරටත් කියාදෙති. ඒ අනුව ලිඛිත ඉතිහාසයේ සදහන් නොවුණු, නමුත් කටවහරින් පැවැත ආ ජෝසොන් අධිරාජ්‍යය #고조선 (ගෝජෝසොන්) නැතහොත් පූර්ව+ජෝසොන් අධිරාජ්‍යය ලෙස විරුදාවලී ලබා තිබේ.
(*고 යන්නෙන් පූර්ව යන්න අර්ථවත් කෙරේ)
උතුරු කොරියාවද වෙන් වීමට පෙර එකම රටක් බැවින් මෙම පුරාවෘත්තය එහිද මුල් බැස ඇති එකකි. නමුත් එරටේ මෙම දවස නිවාඩු දිනයක් තරමින් සැමරෙන්නේ නැත. මුල් කාලීනව අර්ධද්වීපය පුරාම මෙම උත්සවය සමඟ අස්වැන්න නෙලීමත් සිදුව ඇත්තේ පුරාණ රාජධානිවලට ආවේණික වූ සංස්කෘතික අංගයන්ද එළිදක්වමිනි. එබැව් සංකේතවත් කරමින් වර්තමානයේද පැරණි සංස්කෘතිකාංග රැගත් රාජ්‍ය උත්සවයක් පවත්වනු ලබයි.
ජාතික නිවාඩු දිනයක් ලෙස මුලින්ම කෙචොන්ජොල් ප්‍රකාශයට පත්කරන්නේ 1909 දීය. මුලින්ම චන්ද්‍ර මාස ක්‍රමයට තැනූ දින දර්ශනයට අනුව දසවන මස තුන්වන දිනයේ සැමරූ කෙචොන් දිනය පසුකාලීනව වත්මනේ පවත්නා දින දර්ශනයට අනුව කාලානුරූපීය කරන ලදී. එනම් 1949 වර්ෂයේ සිට ඔක්තෝම්බර් 3වෙනිදා සිට කොරියාවේ පදනම් දිනය මහජන හා පොදු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කොට කොරියානුවන්ට සිත්සේ සමරන්නට නිදහස ලබා දෙන ලදී.
අද දින සමරනු ලබන්නේ 4352 වන පදනම් දිනයයි. (පහත පින්තූර බලන්න.)
ගෝජෝසොන් අධිරාජ්‍යයේ උපතේ කතාව විශ්මය දනවන එකකි. ඒ ගැන තවත් ලිපියකින් හමුවෙමු.
|චතුර රුවන් වීරක්කොඩි





No comments:
Post a Comment