Sunday, July 8, 2018

කොල්ලකරුවන්ගෙන් උපන් නින්ජා සටන් කලාව

 ක්‍රි.ව.12 වන සියවස වනවිට ජපානයේ පැවතියේ වැඩවසම් ආර්ථික ක්‍රමයකි. එම ආර්ථික රටාව මත සිවිල් ජනතාව පැහැදිලිවම කොටස් දෙකකට බෙදී තිබුණු අතර ධනයෙන් හා කුලයෙන් ඉහළ කොටස සමුරායිවරුන් ලෙසත් ධනයෙන් හා කුලයෙන් පහළ අය කුලීකරුවන් හා සමුරායිවරුන්ගේ යටත්වැසියන් වශයෙන් හදුන්වාදිය හැක.

සමුරායිවරු සටනට හපන්නු වූහ. අසු පිට නැඟී අසිපතක් හෝ රිටක් ආධාරයෙන් කණ්ඩායමක් සමඟ වුව සටන් කළ හැකි අපූරු සටන් හැකියාව ඔබට මතක් විය යුතුය. (උදා: The Last Samurai) ඉතින් මේ සමුරායිවරුන්ගේ තාඩන පීඩනවලට සාමන්‍ය අහිංසක ජනතාවට පවා මුහුණ පෑමට වූ අවස්ථා එමටය. හැම සමුරායිවරයෙක්ම මේ ගොඩට දැමිය නොහැකි අතර යහපත් සමුරායිවරු ගැන වීරකාව්‍යද ලියැවී තිබේ.

කෙසේ වෙතත් සමුරායිවරුන්ගේ හිරිහැර වලින් බේරී සිටීම සදහා සමහරක් ගම්මුන් කඳුකර හා කැලෑවලට පලාගිය අතර විටින් විට කල්ලි වශයෙන් සෑදී සමුරායිවරුන්ගේ ධනය, වස්තුව හා ඵලදාව කොල්ලකන්නට විය. සමුරායිවරුන්ගෙන් දිවි රැකගැනීම සදහා  කැලෑ වැදුණු ගම්මුන් ඔවුන්ට ආවේණික සටන් කලාවක් ප්‍රගුණ කළ අතර එය "නින්ජුත්සු" නම් වේ. එම සටන් කලාවේ නියැලෙන්නා "නින්ජා" වේ.

නින්ජා සටන් කලාවේදී අවි සහිතව හා අවි රහිතව යන දෙයාකාරයටම සටන් කල හැකි අතර සතුරා වෙත ක්ෂණිකව ළඟා වී තත්පර කිහිපයක් තුළ මරාදැමීමට හා සේනාවට හසුනොවී පලායාමට අපූරු තාක්ෂණික උපක්‍රම ඔවුන් ප්‍රගුණ කර තිබුණි. නින්ජාවරුන්ගේ එම හැකියාව නිසා සමහරු ඔවුන් ලවා මුදලට මිනී මැරවූ කතාවක්ද අසා තිබේ.

කෙසේ වෙතත් 14 හෝ 15 වන සියවස වනවිට ජපානයේ ප්‍රාදේශීය පාලකවරුන් විසින් තම පලාතේ නින්ජා පාසල් ඇති කරවා දරුවන්ගේ සිටම සටන් කලාවට යොමු කරවා තිබේ. තරුණ වියට එළඹෙන බොහෝ පිරිමින් තුළ ප්‍රාමාණික නින්ජා පුහුණුවක් දැකිය හැකි විණ. නින්ජා යනු කොල්ලකරුවන්ය යන සංකල්පය වෙනුවට වීරත්වයක් ආරුඩ වන්නට ඇත්තේ මේ කාලයේ බැව් මගේ අදහසයි. 

20 වන සියවසේ මැද භාගය වනවිට මුළු ජපානයටම තිබ්බේ නින්ජා පාසල් දෙකක් පමණක් බව ඔබ පිළිගන්න එකකුත් නෑ. නමුත් සත්‍යය නම් නව තාක්ෂණය හා දැනුම මත පදනම් සමාජයක් තුළ සටන් කලාව යන්නට හිමි ස්ථානය කෙමෙන් කෙමෙන් බැහැර වීම අපිට වැළක්විය නොහැක. කෙසේ වෙතත් අද වෙනකොට සම්ප්‍රදායික පවුල්වලින් පැවැත එන නින්ජාවරුන් හැර අලුතින් බිහිවෙන නින්ජාවරුන් නැත. තව දශකයකින් හෝ දෙකකින් ඒ කලාව නැත්තටම නැති වී යාවි.

|චතුර රුවන් වීරක්කොඩි 

No comments:

Post a Comment