මෙරට දරුවන් 20,000ක් සමඟින් "පුදුම පළිඟුව - The Wonder Crystal" කෘතිය නිමාවන් 20,000ක් සහිතව රචනා කරමින් ගිනස් වාර්තාවක්ද පිහිටුවාලූ ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ඊයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අප අතරින් සදහටම සමුගෙන යන්න ගියාය.
1927 ඔක්තෝම්බර් 31 වෙනිදා ගිංතොටදී උපත ලැබූ සිබිල් වෙත්තසිංහ මිය කුඩා කල ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් හා ඉන් පසු බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලද්දීය. 1942 දී එච්.ඩී.සුගතපාල මහතාගේ පොතකට (නවමඟ) චිත්‍ර අඳිමින් අවුරුදු 15දීම පොත පතට සමීප වූ ඇය අවුරුදු 19දී චිත්‍ර ශිල්පිනියක ලෙස පුවත්පත් කලාවට පිවිසුණාය.
විවාහ වීමෙන් අනතුරුවද දරුවන් හතරදෙනෙකු ලැබීමෙන් පසුවද ලිවීම හස් චිත්‍ර ඇඳීම අත්නොහල ඇය වසර 70ක් පුරාවට ළමා කෘති 250කට වැඩිය රචනා කර තිබේ. ඇයටම ආවේණික ශෛලියක් ඔස්සේ එළි දැක්වූ චිත්‍ර සහ කතන්දර දැයේ දරුවන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ බැව් රහසක් නොවේ. අපේ ළමා කාලය අර්ථාන්විත එකක් කරවීමට ආදරනීය සිබිල් නැන්දා කල මෙහෙය අති මහත්ය.
1956දී එළිදැක්වූ "කුඩ හොරා" කෘතිය තුළින් සිංහල ළමා කතාවට නව මානයක් එකතු කළ ඇය වසර තිහකට පසුව එනම් 1986දී ටෝකියෝහි ළමා කතන්දර පොත් තරගාවලියටද ඒ පොත ඉදිරිපත් කරන ලදී. එහිදී හොඳම විදෙස් ළමා කතාව ලෙස සම්මාන දිනූ "කුඩ හොරා" ජපානය, චීනය, කොරියාව, නෝර්වේ, ඩෙන්මාර්කය ඇතුළු රටවල් 12කින් භාෂා 12කට පරිවර්තනය කරන ලදී.
"කුඩ හොරා" 1987දී ජපානයේ ජනප්‍රියම ළමා කතා පොත බවට පත්විය. අදටත් ජපානයේ ජනප්‍රියම ළම කතා පොත සිබිල් නැන්දාගේ "කුඩ හොරා" පොතයි. එමෙන්ම 1965 දී "වෙසක් පහන" කෘතිය මහා බ්‍රිතාන්‍යයේ "ඉසබෙල් හටිං" සම්මානයෙන්ද, 2003දී "දුවන රැවුල" ළමා කෘතිය සාර්ක් සාහිත්‍යය සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ඇය විසින් රචනා කරන ලද සූත්තර පුංචා, කිරිහාමි, කැවුම් බබා, තොවිල් ගෙදර, අච්චාරු මුට්ටිය, කුසුමලතා ආදී පොත් ලංකාවෙ දරු දැරියන්ට කිසිදිනක අමතක නොවන පොත් වනු ඇත. රාජ්‍ය සාහිත්‍ය උළෙලෙහි හොඳම ළමා කතාව ලෙසින් ඇය සම්මාන ලැබූ වාර ගණන අපමණය.
සිබිල් නැන්දා ඊයේ සිය ජීවිත ගමනට නැවතීමේ තිත තබන විට වයස අවුරුදු 92 සපුරා තිබිණි. ජීවිත ගමන සමාප්ත කලද ඇය විසින් රචනා කරන ලද ළමා කතන්දර පොත් තව කප් සුවහසක් කල් ළමා ලෝකය සුන්දර කරන බව නම් සැබෑය.
|චතුර රුවන් වීරක්කොඩි
2020.07.01





No comments:
Post a Comment